එක්සත් ජාතීන් ගේ සංවිධානයේ අභ්‍යවකාශ යෙදවුම් වැඩසටහන හා සම්බන්ධ රාජ්‍ය නො වන විද්වත් සංවිධානයක් වන අභ්‍යවකාශ විද්‍යා උපදේශක කවුන්සිලය, අන්තර්ජාතික තාරකා විද්‍යා ගවේෂණ එකමුතුව (IASC) සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සස් ප්‍රාන්තයේ පිහිටි හාර්ඩින් සිමන්ස් විශ්වවිද්‍යාලය මඟින් පවත්වන්නට යෙදුණු ග්රහක සෙවිමේ පර්යේෂණ වැඩසටහනකට සහභාගි වූ ශ්‍රී ලාංකික යොවුන් පර්යේෂකයන් පස් දෙනකු ගෙන් සමන්විත කණ්ඩායමක් සෞරග්‍රහ මණ්ඩලයේ ග්රහක පටියේ නව ග්රහක හතක් සොයාගැනීමෙන් අප රටට විශේෂ කීර්තියක් අත් කර දී ඇත. ඉහත සඳහන් ආයතන මඟින් මේ වැඩසටහන (කඳවුර) පවත්වා ඇත්තේ සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 21 දක්වා කාලය තුළ දී ය. මින් ඉහත දී ද වසර තුනක් පුරා මේ ආයතන මඟින් පවත්වන ලද පර්යේෂණ කඳවුරු සඳහා සහභාගි වී තිබෙන්නේ මේ කණ්ඩායම ය. මේ වසරේ පර්යේෂණ කඳවුරට ඇතුළු වීම පිණිස අයදුම් කරනු ලැබූ විවිධ රටවලට අයත් කණ්ඩායම් සිය ගණනක් අතුරින් පළමු කණ්ඩායම් විස්ස අතරට තේරී පත් වීමට එම කණ්ඩායමට හැකි වීම ද විශේෂත්වයකි.
කඳවුර පැවැත්වෙන අතරතුර ශ්‍රී ලාංකීය කණ්ඩායම ඒ ඒ ආයතනයන් හා සම්බන්ධ වී තිබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. ග්රහක පටියේ විද්‍යාත්මක ඡායාරූප ගනු ලැබ ඇත්තේ හවායි දූපතේ පිහිටා ඇති මීටර 1.8ක විෂ්කම්භයකින් යුතු Pan- STARRS නම් වූ අභ්‍යවකාශ දුරේක්ෂය උපයෝගී කරගනිමිනි. එම ඡායාරූප අධ්‍යයනය කර විශ්ලේෂණයට ලක් කිරීම මගින් මේ නව ග්රහක සොයාගැනීමට පර්යේෂකයන් කණ්ඩායම සමත් වී ඇත.
ශ්‍රී ලාංකීය පර්යේෂකයන් කණ්ඩායම විසින් සොයාගනු ලැබූ ග්රහක හත නම් කර තිබෙන්නේ P10xd2w, P10xcZK, P10xe62, P10xe28, P10x0Lt, P10x0Mk, P10x0Li යනුවෙනි. ග්රහක පටියේ ඇති ග්රහක සම්බන්ධ සියලු තොරතුරු රැඳී ඇති IASC නම් වූ දත්ත ගබඩාවට මේ නව සොයාගැනීම මේ වන විට ඇතුළත් කර තිබේ. ග්රහක පටියේ සම්භවය මෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳව ද වැඩිදුර අධ්‍යයනය සඳහා එම දත්ත උපයෝගී කරගැනෙයි. තව ද ඇතැම් ග්රහක, ග්රහක පටියෙන් ඉවත් ව සූර්යයා දෙසට ඇදී යැමේ දී පෘථිවිය සමග ගැටීමට ඇති අවදානම නිසා තාරකා විද්‍යාඥයන්ට නව ග්රහක සොයාගැනීම වැදගත් වේ.
ශ්‍රී ලාංකික පර්යේෂණ ශිෂ්‍යයන් පිරිසක් මෙවන් සොයාගැනීමක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වීම වැදගත් සිදුවීමකි. මේ වැදගත් සොයාගැනීම කරනු ලැබූ කණ්ඩායමට සහභාගී වූ සාමාජිකයන් මෙසේ ය.